ඇසළ මහේ දෙවිනුවර එකලුකරවන පහන්පැළ

බෙන්තර ගඟින් එහා ජනතාව ඉතාමත් ඈත අතීතයක පටන්ම ඇසළ පොහොය නම් කර තිබුනේ “මහ ශුද්ධ පෝය”නමින්ය.එය බුදුන්වහන්සේට සේම දෙවියන්ටද වෙන්වූ පොහොයකි.එදිනට සිය ගෙවල්දොරවල් සියල්ල ශුද්ධ පවිත්ර කොට පහන්පැල් සාදා බුදුන් වැඳ දේවපූජා කිරීම දකුණේ බොහෝ පෙදෙස් හී වෙනස් වෙනස් අයුරින් සිදුවන චාරිත්රයකි. මාතර දෙවිනුවර මහා දේවාලයට ආසන්න සෑම පෙදෙසකමද ඇසළ මාසය තුල මේ චාරිත්රය ඉටුවේ;ඒ දෙවිනුවර ශ්රී විෂ්ණු උපුල්වන් දේවාලයේ ඇසළ මංගල්යය සමය තුල දෙවියන්ට පින් දී දේව ආශිර්වාද ලැබීමේ අරමුනිනි.දෙවිනුවර නගරයේ මෙන්ම තදාසන්න සෑම පෙදෙසකම ජනයා පෙරහැර සමය ලංවත්ම සිය ගේදොර,වතුපිටි මෙන්ම ගෘහභාණ්ඩ පවා ශුද්ධ පවිත්ර කිරීම මෙන්ම සම්පූර්ණ ගෙයම සේදීමද ලඟ එන ඇසළ මංගල්යය වෙනුවෙන් කරන මූලිකම සූදානමයි.ඇසළ මංගල්යය යනු දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙනුවෙන් ඉටුකරන උසස්තම පූජාවයි ඒ වෙනුවෙන් පේවීම පිනිස කිලිකුණු ඉවත්කිරීම පිනිසම මෙසේ නිවාස පිරිසිදු කොට සෝදා කහදියර ඉසීම සිදුවේ.ගාල්ල දිස්ත්රික්කයේ මුහුදු බඩ පෙදෙස් හිද මෙසේ ඇසළ පොහොයට නිවාස පවිත්ර කිරීම පවතී.ඇසළ පොහොය දින රාත්රියට පහන් පැලක් සාදා කඳ සුරිඳුන් පිදීම ඒ පෙදෙස් හී ලක්ෂණයකි.

දෙවිනුවර අවටද මේ පහන්පැල් සෑදීමේ සිරිත පවතිය්.මහා දේවාලය තුල පෙරහැර මංගල්යය වෙනුවෙන් ඉටුකරන ප්රථම මංගල කෘත්යය කප් සිටුවීමයි,එය දෙවියන් වෙනුවෙන් පෙරහැර පවත්වන බවට දිවුරීමකි(ඉදිරියේදී.). මෙම කප් සිටුවන දින රාත්රියේ සිට මහ පේළි පෙරහැර අවසාන වන තෙක්ම දෙවිනුවර හා ආසන්න ගම්මානවල ජනයා විචිත්රවත් පහන් පැලක් සාදා උපුල්වන් සුරිඳුන් පිදීම සිදුකරති. ගම්මාන රැසක සෑම නිවසකම ඉදිරිපස දැකිය හැකි මේ ආලෝකවත්වූ පැහන් පැල් අලංකාර දසුනකි; අස්පර්ශනීය ජන උරුමයකි.
මේ පහන්පැල් සැදීම අත්යන්තයෙන්ම ගෙදර ගෘහමූලිකයාගේ වගකීමකි.ලීලාන්ද වික්රම්සිංහ මහතා එය විස්තර කරන්නේ මෙසේය;”මුලින්ම පැළ ගසකින් ගොක්‌ අත්තක්‌ කපා ගන්නා ඔහු එය දෙකට පලා ඉන් ඉරුවක්‌ ගෙන රටාවකට වියයි. ඔහු වියූ අත්ත කවාකාරව නමා එහි අගිස්‌ස එක්‌කොට ගැට ගසයි. අනතුරුව ගොක්‌ අත්තේ මැද නාරටිය ගෙන මුදුන සතරට පලා එය මිදුලේ පසෙකින් සිටුවා ඉහතකී පිරිවැස්‌ස එම කරුවෙහි රඳවයි.”මේසේ ගොක් අත්ත මතම පහන්පැල් රැඳවීම මෙන්ම පැළ ඉනි වැටට ගන්නා ඇල්බීසීයා දඬු සතරක් සිටුවා ඒ මත පහන්පැල රැඳවීමද සිදුවේ.මෙසේ පහන්පැල සෑදූ පසු එතනට එක්වන නිවසේ සියලුදෙනා මල් පහන් තබා ආලෝකවත් කොට සුවඳ දුම් අල්ලා බුදුන් වැඳ දෙවියන්ට පිංදෙති.සාම්ප්රදායික සිංහල දේවාගම තුල දෙවියන් පිදුනේ එලෙසය.කප් සිටවීමේ දින මුලින්ම දෙවිනුවර විහාරය වඳින්න යන ගැමියා, නිවසට පැමිනි පසු පහන්පැල ආලොක්වත් කරයි.
මෙසේ පහන්පැලක් සාදන්නේ දේවතාධිගෘහිත වෘක්ශ ලෙස සැළකෙන අඹ, නා, කොහොඹ, බෙලි,සල් ආදි වෘක්ශ අසල හෝ පිච්ච,සේපාලිකා වැනි සුගන්ධවත් සුදු මල් සහිත ගස් අසලවන අතර පහන්පැල සිටුවන බිමේ මුහුදුවැලි(සුදුවැල්ල) ඇතිරීම සහ කහ පැන් ඉසීම සිදුවෙයි.මෙම පහන්පැල් තුල ශ්රී විෂ්ණු උපුල්වන් දෙවියන්ගේ පිළිම හෝ චිත්ර ආදිය තැන්පත් නොකරයි,ඊට හේතුව වන්නේ පහන්පැල තාවකාලික ඉදිකිරීමක් බැවිනි.මෙසේ පහන්පැල සාදන දෙවිනුවර වැසියන් (විශේෂයෙන්ම බොහෝ දේ දන්නා පිරිස්) එම පහන් පැල් කුටිය ඇතුලත තුල්සි,කොල්ලං හෝ මදුරුතලා පත්රාදිය හෝ පුෂ්පදර ඇතිරීම සිදුකරයි.තුල්සි හා මදුරුතලා යන ශාක ද්විත්වයම ශ්රී විෂ්ණු දෙවියන් උදෙසා පූජනීයම ශාකයන් වේ.විෂ්ණු දෙවියන්ගේ භාර්යාව ලෙස සැලකෙන ශ්රියාකන්තාව හෙවත් ශ්රී ලක්ශ්මී මෑණියන් තුලසි ලෙසින් මනුලොව ඉපදුනු බවත් ඇගේ මරනින් පසු ඉතුරුවුනු කෙස් වලින් තුල්සි ශාකය ඉපදුනු බවත් “දේවි භගවතා පුරාණය” කියයි.ඉතාම පුදුම සහගත ලෙස ශ්රී විෂ්ණු සුරිඳුන් ගොඩබට දෙවිනුවර අවටද මේ තුල්සි(දම් පැහැයක් සහ කොළ පැහැයක් ඇති ක්රිශ්ණා තුලසී හා රාමතුලසී) ශාක බහුල වශයෙන් වැවී ඇති අයුරු නිරීක්ශනය කල හැකිය.පහන්පැල සැදූ පසු එහි සුදුමල්; විශේෂයෙන්ම පිච්ච වැනි සුගන්ධවත් මල් වර්ග පූජා කරන අතර ඇතැම්හු සිය භක්තිය නිසාම පලතුරු,නොඉදුල් කැවිලි පවා තබති.පහන් පැල දල්වන්නට ගන්නේ නිවසේදීම හිඳින ලද පොල්තෙලිනි ඒවා අත් තෙල් හෙවත් “අත්පිටතෙල්”ය.දේවාලය දෙසට පහන් දැල්ල වැටෙනා සේ පැල ඇටවේ.කප් සිටවූ දිනයේ දීම බොහෝ ඉපැරණීන් පහන් පැල සිට විම සිදු කරන අතර පහන් තැබීමේදී බොහෝ අය දේවාලයේ පෙරහැර පිටත්වන මංගල නැකතේදි හෝ රාත්රී 9පසු වී හෝ පහන් තැබීම සිදු කරයි.මහා දේවාලයේ පෙරහැර දෙවොලින් ගොඩවන්නේ බලගතු සුභ නැකැතකටය ඒ අවස්ථාවේ පහන් තැබීමට වගබලාගැනීම බොහෝ අයගේ විශේෂ සිරිතකි.මේ අවස්ථාවේදි පහන්පැලේ ශුද්ධ පඬුරක් ගැට ගැසා බාර වීමද,පෙරහැර මංගල්යය නිමවනතුරු පහන්පැල දැල්වීම සිදුකරන බවටත් පහන් පැලට ගෞරවාන්විතව පුද සත්කාරකරනා බවටත් ඇප භාර වීමද සිදුවේ.කප් සිටුවීමෙන් පසු උතුම් ශ්රී විෂ්ණූ දෙවිදුන් ජිවමානව හදුන් කුඩමේ වැඩ සිටිනා බව පිලිගන්නා ගම්වාසීහූ තම පහන් පැලෙටත් වැඩ ඔවුනට පිහිට වන බව දැඩි ලෙස විශ්වාස කර මෙම කටයුත්ත ගෞරවාන්විතව සිදු කරති.පෙරහැර මංගල්යය අවසන් වූ පසු මේ පඬුරු නිදහස් කොට බාරහාර ඔප්පු කිරීමද පෙර සිරිතකි.ඒ සඳහා නා පිරිසිදුව පේවි පිරිසිදු අලුත් වස්ත්රාභරණයෙන් හා රත්රනින් සැරසී එම ගැටගැසූ පඬුරත් සහල්, පොල්, සීනි, හකුරු, කජු, මුද්දරප්පලම් හා මුදල් ද කද පුරවාගෙන මහා දේවාලයට යන්ටද දෙවිනුවර වැසියන් අමතක නොකරති.එසේ දෙවිනුවර මහා දේවාලයට යෑමට පැරැන්නන් කියන්නේ” අම්මා අප්පා දෙවොලට බට වෙලා උන්දැලා බලන්නට අප්පයි ගෙදරට කද මලූ අරන් යනවා බොල.”ලෙසය.දෙවිනුවර ශ්රී විෂ්ණු උපුල්වන් දෙවියන් කෙරෙහි ඇති භක්තිය යනු දෙවිනුවර අවට ජනයාගේ හදපත්ලෙහිම ස්ථාපනය වූ සිය මාපියන් හා සමාන මනෝභාවයක් බවට මෙය කදිම නිදසුනකි.එසේම පෙරහැර අවසන් වූ පසු සැදූ පහන්පැල කැඩීමක්ද නොකෙරේ. සොබාදහමටම එය දිරාපත් කිරීමට ඉඩ හරිනු ලැබේ.පහන් පැල තිබූ තැනින් ඉවත් කොට වෙනත් තැනක හේත්තු කොට තැබිම පමනක් සිදුවේ.
ඉතාම සුන්දර චාරිත්ර විධියක් සේම දෙවිනුවර මහා දේවාලයේ ඇසළ පෙරහැර උපසංස්කෘතිය හා බැඳුනු අංගයක්ද වන මේ සිරිත තවත් චිරාත් කාලයක් ඒ ලෙසින්ම පවත්වාගෙන යාම දෙවිනුවර වාසය කරන දෙවිනුවරට ආදරය කරන ලොකු,කුඩා,බාල,මහලු සියලු මිනිසුන්ගේ යුතුකමක් බව අවසාන වශයෙන් මතක් කරමි.
විස්තර ලබාදුන් සියලු දැනුමැත්තන් හට අපේ ස්තූතිය!
එසේනම් සැමට තෙරුවන් සරණයි! උපුල්වන් සුරිඳු පිහිටයි!
සටහන-අභිෂේක් යසස්ථි රන්දෙනිය,පසිඳු දේශාන්
Share:

Leave a comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *