දෙව්නුවර ප්‍රදේශයේ ජනප්‍රවාද තුල දෙවිනුවරට දෙවියන් වැඩම කිරීමේ පුවත කියවෙන අයුරු
ජනප්‍රවාද අනුව දෙවිනුවරට වැඩි දැව කඳ පිළිබඳ සිහිනය දප්පුල රජුට සහ සීනිගම පිහිටි දේවාලයේ කපුරාළටද පෙනුනු අතර ඔවුන් දෙපක්ෂයම මඟුල් පෙරහැරින් දෙවිනුවරට ගියේය. එසේම එම ජනප්‍රවාදය අනුව උපුල්වන් දෙවියන් වඩිනවා යැයි පවසා ඇත්තේ දෙවිනුවර තුඩුවේ බටහිර වැල්ල වූ මඟුල්වැල්ලට නොව නැගෙනහිර වැල්ලටය(කිරළ වැල්ල). නමුත් පෙරහැරින් ආ පිරිසට කිරළ වැල්ලට ලඟාවීමට ප්‍රමාද විය. එබැවින් පූජනීය දැව කඳ නැගෙනහිර වැල්ලෙන් දකුණු වූ සිංහාසන වැල්ලද පසුකොට බටහිර පිහිටි මඟුල්තොට වැල්ලට පාව ගිවේය.
එහිදී සමුදුරට බැස දෙවියන් පිළිගත් සීනිගම කපුරාළ වර්ථමාන දේවාලය සහ සිංහාසනය වැල්ල යාවන සිංහාසන වීථියෙන් දැවකඳ වැඩමවා මෙම කඳින් දේව ප්‍රරතිමාවක් තනන්නට සුදුස්සෙක් සෙවීය.එහෙත් ඉන් දේවරුවක් කිරීමට කිසිවෙකුටත් හැකිනොවීය. එහෙත් දිනක් දෙවිනුවරට පැමිණි මහල්ලෙක් දේව ප්‍රතිමාව නෙලීමට ඉල්ලා සිටියේය. ඒ උඩුවියන් බැඳ සඳුන් කිරි පැන් ඉස පිරිසිදු කොට වට තිර ඇද ආවරණය කල මණ්ඩපයක තමන්ට පමණක් රැඳෙන්නට කළ අවසරයකින්ද යුතුවය. දප්පුල රජුගෙන් ඔහුට ඒ අවසරය ලැබුනි.
පසුදින උදෑසන ඒ මණ්ඩපය වෙත පැමිණ සුදු වටතිර ඉවත් කල සීනිගම කපුරාළ ඇතුලු සියල්ලෝ ඉමහත් විශ්මයට පත්වූහ! මහල්ලෙක් එහි නොවීය. ශ්‍රී උත්පලවර්ණ දේව ප්‍රතිමාව පමණක් අභිමානවත්ව එහි විය. විශ්වකර්මන් දීව්‍ය පුත්‍රයා මහලු වෙසින් පැමිණ මේ කාර්‍යය කළ බව ජනප්‍රවාදගත විය.
මීට ඉතා සමාන ජනප්‍රවාදයක් නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සාවේ ජගන්නාත් ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ දේව රූ සම්බන්ධව ද පවතී.
දෙවිනුවර උපුල්වන් දේව ප්‍රතිමාව පිහිටුවීම පිළිබඳ තුඩුගල විසිදාගම බණ්ඩාරවලියේ සහ දෙවිනුවර ප්‍රදේශයේ මුඛ පරම්පරාගත ශ්ලෝකයක්ද පවතී ඒ මෙයයි.
“ශ්‍රී ශාකෙ රාජසෙනා ව්‍යපගත වර්ෂෙ පූර්ව පක්ෂේ ප්‍රයුක්තේ
වෛශාඛ්‍යයේ රාධතාරා රවිදින සහිතෙ පූර්ණ චන්ද්‍රශ යුක්තෙ
මධ්‍යහනෙ ජීව හෝරාජ්ජලනිධි මගධාච්චන්දනා කාෂ්ට රූපං
ප්‍රාප්තං දෙවාතිදේවං සුරනර මහිතං පූජයෙත් විෂ්ණු ශ්‍රේෂ්ඨම්”
-“පන්සිය අසූ දෙවැනි ශාක රාජ වර්ෂයේ ඉකුත් වූ සඳ වෙසක් මස ශුක්ල පක්ෂයෙහි අනුර නක්ශාස්ත්‍රය යෙදුන ඉරිදා මධ්‍යහනයේදී ගුරු හෝරාවෙන් මුහුදෙන් පහළ වූ සඳුන් හර රූපය දෙවියන් මනුශ්‍යන් විසින් පුදන ලද්දා වූ දේවාතිදේව ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයා හට පුදනු ලබන්නේය” (තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය; උපුටාගැනීම, දෙවුන්දර ඉතිහාසය, ගන්දර පී.ඩී.එස්. වීරසූරිය)