මීට වසර 70කට පමන පෙර දෙවිනුවර

ශ්‍රී ලංකාවට මහත් ආදරයක් භක්තියක් දැක්වූ ආචාර්ය ආර්.එල්.බ්‍රෝහියර් මහතා දෙවිනුවර ඇසළ සැණකෙළිය ජීවමානාකාරයෙන් විස්තර කරනාන්දම මනස්කාන්තය….එය අප සැවොම ඒකාලයටම ගෙන යයි.

…ඔබ දැන් ඉන්නෙ දිවයිනේ දකුණේ අවසාන කෙළවරේය.ඔබ අතර සහ දක්ෂිණ ධ්‍රැවය අතර මුහුද හැර අන් කිසිම දෙයක් නැත.එසේම ඔබ දැන් දෙපා තබාගෙන සිටින්නේ අනාදිමත් කාලයක සිට නොයෙක් දෙවිවරුන් සඳහා වෙන් වූ පුද බිමකය.

දෙවුන්දර යනු දෙවිනුවරයි.එනම් දෙවිවරුන්ගේ නගරය බවයි.මෙහි පූජා උත්සව බැලීමට නම් ඔබ ජූලි-අගෝස්තු මාසවල යෙදෙන පූජා සතිය තුළ එහි යා යුතුයි.එවිට මෙහි වන්දනාමාන සඳහා ද සැණකෙළි සඳහාද පැමිණෙන දහසකුත් එකක් මහජනතාව දැකිය හැකිය.ඔවුහු කණ්ඩායම් වශයෙන් පැමිණ ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ හැම අස්සක් මුල්ලකින්මය. එසේ පැමිණෙන ඔවුන් නොයෙක් දෙවිවරුනට තමන් වී ඇති බාර හාර ඔප්පු කරනු දැකීමට පිළිවනි.හින්දු ආගමට අතීතයේ තුබූ ගෞරවය දැනුදු ලංකාවේ දී එසේම දැකීමට හැක්කේ මෙහි දීය.

මේ උත්සව කාලය තුළ,දින දහයක්(10) මුළුල්ලේම සක් පිඹීමත්,හොරණා වැනි තූර්ය භාණ්ඩ වාදනයත්,බෙර වාදනයත් සිත සලිත කරමින් නොනවත්වාම වාගේ සවනත වැටේ.හැම දිනකම,හිටි පිනුම් කරුවන්ගෙන්ද,ලක්ෂණ ඇඳුම් ආයිත්තමෙන් අලංකෘත වූ අලි ඇතුන්ද, චාමර,කුඩ,සේසත් රැගෙන යන්නවුන් විසින්ද තම තමන් අයිති දේවාලයේ පෙරහැර එන බව සළකුණු කැරේ.එමෙන්ම කස කරුවන්ද, බෙර කරුවන්ද, පෙරහැරේ අනිවාර්ය අංගයක් වේ.තම තමන්ගේ දෙවිවරුන්ගේ ධජ පතාක රැගෙන පෙරහැර ලඟාවත්ම, භක්තියෙන් උද්දාමයට පත්වන සැඳැහැවත්හු ‘සාධු! සාධු!!’නාදයෙන්ද,හින්දු බැතිමත්හු ‘හරෝ හරා! හරෝ හරා!!’යන නාදයෙන්ද පළාතම දෙවනත් කරති.මෙසේ පෙරහැර නිම වී ඒවා තම තමන්ගේ දේවාලවලට ගෙවැදුණු පසු ලොකු කුඩා සියලු දෙනාම සැණකෙළි පළට ගොස් විනෝද වීමට පටන්ගනිති.එහේ ඇති සල්පිලේ තිබෙන දිගු තාවකාලික කඩපේළි දිගේ යන ඔවුහු ඇඳුම් පැළඳුම් ද,අරුමෝසම් බඩු ද, තඹ පිත්තල බඩු ද මිල දී ගනිති.එහි පැණිරස කෑම විකුණන කඩවල් ද,සරුවත්,පැනි බීම සහ තේ කඩ ද තිබේ.කතුරු ඔන්චිල්ලාව කැරැකෙනුයේ තමන් දරා සිටින බර උසුලාගැනීමට බැරුවාක් මෙන් කෙඳිරි නඟමිනි.මෙරිගෝ රවුම කැරැකෙන අතර එය වටා, තම වාරය එනතෙක් මිනිස්සු ඒකරාශි වී ඒ දෙස බලා සිටිති.එයින් බෑන්ඩ් වාදනයක් නිකුත් කරන අතර,ලී අශ්වයන් මත නැඟී සිටින අය ඉහළ පහළ යමින් වටේට යති.සියලු දෙනාම මේ සැණකෙළියේ උපරිම වින්දනය ලැබීමට බලාපොරොත්තුව සිටියත් එකිනෙකා තල්ලු කර ගැනීම් හෝ කලබල කරගැනීම් නම් දක්නට නොවීය…

මේ කුඩා නගරයේ උත්සව සමය එසේය.සමහර විට මේ උත්සව නොමැති ව දෙවුන්දර හිස් ස්ථානයක්ව තිබෙන විට, ඔබ එහි ගියහොත් එහි ඇති පෞරාණික විහාරස්ථාන පිළිබඳ අධ්‍යයනය කරන්නටත් ,ඒවා සමබන්ධයෙන් ඇති රස කථා අසා දැනගැනීමටත් වඩා උචිත කාලය එය යි.

….පුරාවෘත්තයකට අනුව මේ නගරයට ඒ නම යෙදුණේ වර්තමාන වෙළඳ පළට නුදුරින් පිහිටි සුන්දර විෂ්ණු කෝවිල නිසා යි.අනාදිමත් කාලයකට පෙර තැනුණු මේ දේවාලය,විෂ්ණු හෙවත් උපුල්වන් දෙවියන්ට පුද කැරිණි.බොහෝ විට බලෙන් අඩු අනෙක් අල්පේශාක්‍ය දෙවිවරුන් ද මෙහි පැමිණ තම ගෞරවය පෙන් වූ අතර,මෙය දෙවියන්ගේ නගරයක් බවට පත් විය.

එහෙත් ගල් කණු කිහිපයක් සහ සඳකඩ පහණ හැරුණු විට ඒ දේවාලයේ කිසි ම හෝඩුවාවක් දැන් පෙනෙන්නට නැත. මෙහි අද දක්නට ඇත්තේ මනා සේ නඩත්තු නොකරන ලද දේවාලයක් සහ ඒ අසලින්ම ‘කිරි වෙහෙර’ නමින් හැඳින්වෙන පන්සලක් ය.මේ දාගැබ දප්පුල රජු විසින් මීට වසර 1500කට පෙර සාදන ලද්දක් බව පිළිගැනේ.

දේශාටකයන්ගේ ප්‍රකාශ අනුවය මේ නගරයේ පැරණි ශ්‍රී විභූතිය පිළිබඳ අපට ඒත්තු යන්නේ.14වන සියවසේ දී මුස්ලිම් දේශාටකයෙකු වන ඉබන් බතූතා මේ ස්ථානයට පැමිණ ඇත.ඔහු එය හඳුන්වන්නේ ‘”දිනෙවාර්” යනුවෙනි.නේත්‍රාවලට තරු මෙන් දිළිසෙන රතු කැට අල්ලා තුබූ,මිනිසෙකුගේ උස ප්‍රමාණයෙන් යුත් පිළිමයක් මෙහි තුබූ බව බතූත පවසයි.දේව ප්‍රථිමාව ඉදිරියේ රැඟුම් දැක්වීමට දේව දාසියන් 500ක් යොදා තිබුනු බව ද ඔහු පවසයි.

වෙනත් මාධ්‍යවලින් හෙලිවුනු කරුණු අනුව එකල මුහුදේ ඈතට පෙනෙන විශාල පැගොඩාවක්(කේතු ආකාර වහල සහිත මහල් කීපයක් ඇති ගොඩනැගිල්ල හෙවත් දේවාලයක්) මෙහි තිබුණ බව ද එහි රන් ආලේපිත තඹ උළු වහල සූර්යාලෝකයෙන් බැබලෙන් විට ඉතා චිත්තාකර්ෂණීය දසුනක් මැවුණු බව ද කියැවේ.

සැබැවින්ම එදා දෙවිනුවර සුන්දරය….

උපුටාගැනීම සහ අනුවාදනය දිවන්ගත අභය හේවාවසම් මහතා මහතා පරිවර්තනය කල Seeing Ceylon | By Brohier R L-“බ්‍රෝහියර් දුටු ලංකාව”(1965) කෘතියෙනි.

එසේනම් සැමට තෙරුවන් සරණයි! උපුල්වන් සුරිඳු පිහිටයි!

සටහන-අභිෂේක් යසස්ථි රන්දෙනිය

Share:

Leave a comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *