ඇසළ මහේ දෙවිනුවර එකලුකරවන පහන්පැළ
බෙන්තර ගඟින් එහා ජනතාව ඉතාමත් ඈත අතීතයක පටන්ම ඇසළ පොහොය නම් කර තිබුනේ “මහ ශුද්ධ පෝය”නමින්ය.එය බුදුන්වහන්සේට සේම දෙවියන්ටද වෙන්වූ පොහොයකි.එදිනට සිය ගෙවල්දොරවල් සියල්ල ශුද්ධ පවිත්‍ර කොට පහන්පැල් සාදා බුදුන් වැඳ දේවපූජා කිරීම දකුණේ බොහෝ පෙදෙස් හී වෙනස් වෙනස් අයුරින් සිදුවන චාරිත්රයකි. මාතර දෙවිනුවර මහා දේවාලයට ආසන්න සෑම පෙදෙසකමද ඇසළ මාසය තුල මේ චාරිත්‍රය ඉටුවේ;ඒ දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ ඇසළ මංගල්‍යය සමය තුල දෙවියන්ට පින් දී දේව ආශිර්වාද ලැබීමේ අරමුනිනි.දෙවිනුවර නගරයේ මෙන්ම තදාසන්න සෑම පෙදෙසකම ජනයා පෙරහැර සමය ලංවත්ම සිය ගේදොර,වතුපිටි මෙන්ම ගෘහභාණ්ඩ පවා ශුද්ධ පවිත්‍ර කිරීම මෙන්ම සම්පූර්ණ ගෙයම සේදීමද ලඟ එන ඇසළ මංගල්‍යය වෙනුවෙන් කරන මූලිකම සූදානමයි.ඇසළ මංගල්‍යය යනු දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙනුවෙන් ඉටුකරන උසස්තම පූජාවයි ඒ වෙනුවෙන් පේවීම පිනිස කිලිකුණු ඉවත්කිරීම පිනිසම මෙසේ නිවාස පිරිසිදු කොට සෝදා කහදියර ඉසීම සිදුවේ.ගාල්ල දිස්ත්‍රික්කයේ මුහුදු බඩ පෙදෙස් හිද මෙසේ ඇසළ පොහොයට නිවාස පවිත්‍ර කිරීම පවතී.ඇසළ පොහොය දින රාත්‍රියට පහන් පැලක් සාදා කඳ සුරිඳුන් පිදීම ඒ පෙදෙස් හී ලක්ෂණයකි.