පුරාණ කප් සිටුවීමේ මංගල්‍යය
දෙවිනුවර මහා දේවාලයේ කප් සිටුවන දා සුබ වේලාවට කිහිප මොහොතකට මත්තෙන් ඉතාමත් ගෞරවාන්විතව අලුත් සුදු පිරුවට හැඳ මුඛවාඩම් බැඳගත් කපු මහත්වරු දෙදෙනකු සඳුන් කප කඳ දෙකෙලවරින් කර තබා යක්බෙර,දවුල්,හොරණෑ හා සීනු නාද මධ්යයේ දස දහසක් හුදී ජනයා සාදු කාර දෙද්දී උපුල්වන් දෙවොලින් එලියට වැඩමවා සුවඳ දුමින් ඔකඳවත් වූ මහා දේවාලය වටා තුන් වතාවත් ප්රදක්ශිණා කරති.නායක පූජක හෙවත් මහ බෙත්මේ පැන් කළයක් රැගෙන සිටී.ප්රදක්ශිණාව අවසානයේ කප රැගත් කපු මහත්වරු දේවාලයේ මහ දොරටුව අභියස ඇති සතර ගල් කණු මධ්යයේ සිට මහා දේවාලය දෙසට මුහුණලා සුබ වේලාව එන තුරු රැඳී සිටිති.පසඟතුරු ශබ්ද පූජාව දිගටම සිදුවේ.එහෙත් සීනු නාදය මදකින් නවතී….
මේ දෙසවන නින්නාද වන පසඟතුරුගොසින් ඇතිවන්නේ අමුතුම ප්රබෝධයකි.
කප සිටුවන්නට පෙර දින සිටම දේවාලය මඟුල් සිරියෙන් සැරසුනි.පෘතුගීසින් එන්න පෙර අතීතයේ නම් කප සිටවන දින දේවාලය වටාම වවා තිබූ සුගන්ධවත් ජයසුමන,මාලති ආදී මල්වලින් ගෙතූ මල්මාලයන්ගෙන් දේවාල ගොඩනැගිල්ලම අලංකෘත වී මඟුල් සිරි ඉසිලීය.වත්මනේ කප් සිටුවීමට යොදාගන්නේ මහා දේවාලයට ආසන්නයේම දකුණු පසින් ඇති ගල් කණු සතර මැද ස්ථානයය.කප් සිටවන්නට පෙර එහි සුදු වැලි ඉස වට ලණු ඇද සීමා කෙරේ.
සුබ නැකත ලබන්නට පෙර ගල් කණු සතරින් වටවුනු කොටුවේ සතරකොණ ලෝකය ආරක්ශා කරන සතරවරම් දෙවියන් හෙවත් වෛශ්රවණ,ධෘතරාෂ්ට,විරූඪ,විරූපාක්ෂ දෙව් රජවරුන් උදෙසා තැනූ ගොප් පහන් පැල් සතරහි සුවද තෙල් පහන් ඇවිලවේ.මේ පහන් පැල්හි මුව ගොක් කොළ වියමනකින් වසා තිබීම දෙවිනුවර දෙවොලේ විශේෂත්වයකි.මහ පොළොවට අරක්ගත් දස බහිරව දේවතාවුන් (අෂ්ට බහිරව දේවතාවුන් වන අසිතාන්ග,රූරු,චණ්ඩ,ක්රෝධ, උන්මත්ත,කපාල,භීශණ සහ සම්හාර බහිරව දේවතවුන්ටත් සහ ආතාල,පාතාල බහිරව දෙවියන් දෙනම) උදෙසා පැණි බතක්,නොඉඳුල් කැවිලි(කැවුම්,කොකිස්) සමග චතුමධුර(වෙඬරු,කිතුල් හකුරු,මී පැණි,එළඟිතෙල්) ඒ සතර වරම් දෙවියන්ගේ පහන පැළට යටින් පොළොව ආසන්නයේ ඇති ගොක් කොළයෙන්ම කල අයිලයේ හෙවත් බහිරව ගොප් පැලහී තැම්පත් කොට අෂ්ට බහිරව ස්තෝත්රය කියා බහිරව පූජාවක්ද සිදුවේ.
මේ සියලු පහන් පැල් සහ අයිලයන් දේශීය කලා ශිල්පීන් සෑදූ අලංකාර ගොක්කොළ වියමනින් අලංකාර වී ඇති අතර එයින් කප් සිටුවන මණ්ඩපය හෝම පූජා මණ්ඩපයක සිරි උසුලයි.
මද වේලාවකින් ශුභ මංගල නැකත උදාකරමින් උපුල්වන් දෙවොලේ ඝන්ටා නද රැව්පිළිරැව් දෙන්ට ගනී සුවාසූ දහසක් හුදී මහ ජනයා සදෙව් ලෝ සිට බ්රහ්ම ලෝ දක්වා ඇසෙන්නට මෙන් මහා සාදු නාද පවත්වද්දී සඳුන් කප ගස පොළොවේ සිටවේ.එවිටම මහ බෙත්මේ විසින් තමන් අතැති පැන් කෙන්ඩියෙන් දිය කප් කඳට වඩා මහත් හඩින්
“….සාදූ සාදූ සාදූ පස්වාන් දහසක් නැවතත් සාදූ සාදූ සාදූ දෙවියනේ… සිට වැන්දෙන් බැස වැන්දෙන් නැගූ අතින් වැන්දෙන් දොහොත් මුදුනේ තබා වැන්දෙන් දෑත දසැගිලි කොට වැන්දෙන් මා හිස නමා වැන්දෙන් හුරු අත් නුහුරු කොට වැන්දෙම් ඒ සක්වලෙ මේ සක්වලේ දස දහසක් සක්වලේත් තාරුකා මහා දිව්ය ලෝකයෙත් මෙර සත මුදුනේත් යහතින් දිවස්ලා වැඩ සිට එක් අතක පාරා වළල්ලක්ද තවත් අතක සංඛයක්ද තවත් අතක අභය මුද්රාවද අනෙක් අත නෙළුම් මලක් ද අත දරාගෙන මත්ස්ය අවතාරයකිද,කුර්,වරාහ,නෘරසිංහ,වාමන,පරශුරාම,රාමා, ක්රිෂ්ණ,බලරාම,කල්කී යන දස අවතාරයකින්ද සංඛශීල දේව නාරායන! නාමයකින් ප්රසිද්ධව උතුම් දෙව් භවනේ යහතින් දිවෙස්ලා වැඩ වාසස්ථානය කරන උත්පලවර්ණ ශ්රී විෂ්ණූ දේවරාජෝත්තමයානන් වහන්ස! ඔබ වහන්සේගේ පුණ්ය බල මහිමයෙන් මෙතකින් අරඹනා ඇසළ පෙරහැර මංගල්යයට දිව කරුණාවෙන් බලා සෙතක් ශාන්තියක් කොට මෙකුන් කටයුත්ත කිරීමට ආශිර්වාද කොට! මේ විමනෙහි යහතින් වැඩ සිට ඇසළ පෙලහැර මංගල්ය කිරිමට මේ මගුල් කප සිට වීමට අවසර දෙන සේක්වා!!!”
යන විශේෂ දේව අවසර පතන යාතිකාව ශ්රී විෂ්ණු උපුල්වන් දෙවියන්ට සිදුකෙරේ,මෙය හැඳින්වෙන්නේ “දෙවියන්ගේ මුල් යාතිකාව”යන නමිනි.එය කප සිටවන අවස්ථාවේදීම පමනක් කියන විශේෂ යාතිකාවක් සේම,දෙවිනුවර දෙවොලයේ භාවිත වන ඉතාම පැරණිම යාතිකාවද වෙයි.
මේ සිටවන කප ගස මුදුනේ නිල් පැහැ(උපුල්වන්) සහ රතු පැහැ ධජ( ගුරුලා) දෙක ද පොල් මලක් හා පුවක් මලක් ගැට ගසා ඇත. ගස සිටවූ වහාම මහ බෙත්මේ කපු මහතාත් බස්නායක නිළමේ වරයාත් ශ්වේත වර්ණ පඬුරු ගැට ගසති.සාදූකාර මධ්යයේ යුද්ධයක් ජයගෙන සතුටට ඔසවනා ස්වර්ණ ධජයක් සේ කප ගස කණු සතර මද්යයේ සිටවා කප ගසේ සිට කණු සතරට දිවෙන පරිදී කඹ නූල් සතරක් බැඳ කප ගස කෙලින් කරණූ ලබයි.මෙහිදී මෙම කප් සිටවනා මොහොතේදී යම් අයකූ පොල් ගෙඩියක් බිඳ. භාරයක් වූයේ නම් එය ඉෂ්ට වන බවට දැඩි ලෙස විස්වාස කරන මහ ජනතාව දහස් ගණනක් සඳුන් කිරි පැනෙන් නා සුදු පිරුවට හැඳ මෙම කප් සිටවීමේ මංගල්යයට සහ සම්බන්ද වන අතර කප් ගස සිට වීමට පෙර සිට රැස්වන මෙම පිරිස් තම එක් අතක කහ දියර ගා කපුරු මස්තක දල්වනා ලද පොල් ගෙඩියද පඬුරු මාලයද අතැතිව දෙවියන් ඉදිරියේ සිහින් හඬින් තම දුක මුමුණමින් සිටින අතර එය අපට පෙනෙන්නේ හරියට රාත්රී ජාමයක එලි විහිදමින් සියුම් හඩ නංවනා කණාමැදිරි රෑනක් සේය.බැලූ බැලූ අත එකම හිස් ගොඩකී.කප ගස සිටවනවාත් සමග රැස්වූ හැම දෙනා එක් හඩ නන්වමින් තම අතැති පොල් බිඳීම සිද්ධ කරයි.මෙය සාදු කාර හඩ පරයා යන මහත් වූ ශබ්ද පූජාවකි.කප් ගස සිටවා මහොතකින් ඒ කප් ගස වටා රොක් වන ජනයා එහි පඩුරු බැඳ දේවාලයට වැඳ පඬුරු දමා තම නිවෙස් වලට යති.එසේ නිවසට ගොස් ඔවුන්ගේ නිවසක් නිවසක් පාසා ඉදිකර ඇති ගොක් අතු පහන් පැල් දල්වා දෙවිනුවර උත්පලවර්ණ ශ්රී දිව්ය රාජ භවනයේ ඇසළෝත්සව මංගල්යය හා සම්බන්ධ වන බවට දිව්රමින් මංගල්යය නිමවනතුරු පහන් පැලට ගෞරවාන්විතව පුද සත්කාරකරනා බවට ඇප භාර වන අතර මෙහිදී උතුම් ශ්රී විෂ්ණූ දෙවිදුන් ජිවමානව හඳුන් කුඩමේ වැඩ සිටිනා බව පිලිගන්නා ගම්වාසීහූ තම පහන් පැලෙටත් වැඩ ඔවුනට පිහිට වන බව දැඩි ලෙස විශ්වාස කර මෙම කටයුත්ත ගෞරවාන්විතව සිදු කරයි.
එසේනම් සැමට තෙරුවන් සරණයි! උපුල්වන් සුරිඳු පිහිටයි!
සටහන-කරණ්දෙනිය මහදුරගේ පසිඳු දේශාන් සහ අභිෂේක් යසස්ථි රන්දෙනිය