දෙවිනුවර “දෙවිනුවර” වුනු හැටි
දෙවිනුවර හෙවත් “දෙවියන්ගේ නුවර” යන නාමය මෙම ප්‍රදේශයට පැමිණියේ ක්‍රිස්තු වර්ෂයෙන් 7ත් වන සියවසේදී ඉදිවූ උපුල්වන් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය හේතුවෙනි. එහෙත් ඉන් පෙරද මෙම ප්‍රදේශයට වැවහර වූ නාමයක් තිබිය යුතුය. දෙවිනුවර විහාරයේ පිහිටි 9න සියවසට අයත් ශිලා ලේඛනයක “ගිරියල වෙහෙර” යැයි නමක් ඇත. 14න සියවසේදි රචිත පරෙවි සන්දේශය නම් කාව්‍ය ග්‍රන්ථය තුළ “ගිරිහෙලපුර” යන නමක් එයි. එබැවින් “ගිරිහෙලපුර” හෝ “ගිරියල” යනු මේ ප්‍රදේශයේ මුල් නාමය බව විශ්වාස කළ හැක. එහි දෙවියන්ගේ සම්බන්ධයක් නැති බැවින් එම මතයේ විශ්වාසනීයත්වය ඉහල යයි. ඒ ගිරිහෙළපුරය තුළ ඉදිවූ උපුල්වන් දේවාලයට ඇත්තේ උත්කර්ෂවත් දේවාල ඉදිකිරීමක් පිළිබඳ සඳහන් රසවත් ආරම්භක කතා පුවතකි. ජනප්රවාදගත වූ එම උත්කර්ෂවත් ආරම්භයම ගිරිහෙළපුරය දෙවිනුවර යනුවෙන් ජනප්‍රිය කිරීමට හේතුවන්නට ඇත.
මහාවංසය සහ දළදා සිරිත තුළ උපුල්වන් දේවාලයක් සහිත විහාරයක් ඉදිවීම පිළිබඳ කෙටියෙන් සඳහන් අතර පැරකුම්බා සිරිත, අලුත්නුවර දේවාලය කරවීම සහ තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය යන ලේඛන තුළ මෙම පුවත ඉතා විස්තරාත්මකවද සඳහන්වේ. එ පුවත මෙසේය.
“උපුල්වන් දෙවිඳුන් තමන් විසින්ම රත්සඳුන් කොටයකට අධිගෘහිතව දෙවිනුවර තුඩුවේ මඟුල් වැල්ලට වඩින බවට රුහුණේ රජකම් කරන දප්පුල නම් රජුහට සිහිනයකින් පෙන්වන ලදි. සිහිනය දැක මහත් සේ සතුටුවන දප්පුල මහ රජු පසුදින සිව් රඟ සෙනඟ සහ පසඟතුරු ඝෝෂා සහිත මහත් පෙරහැරකින් මඟුල් වැල්ල වෙත එළඹියේය.
එහිදී රාජකීය පෙරහැර විසින් බොහෝ ගෞරවයෙන් යුතුව ඒ දෙවියන් අධිගෘහිත රත්සඳුන් හරය පිළිගෙන දක්ෂ වූ වඩුවැඩ ආචාර්යයෙක් වූ “පත්ගිරිවසා අරක්කැමෙනාවයි දාසපතිරයා” ලවා ශ්‍රී උත්පලවර්ණ දිව්‍යරාජ ප්‍රතිමාවක් නිමකරවන ලදි. එසේ නිම කරන ලද ප්‍රතිමාවෙන් ඉන්ද්රනීල මාණික්‍යක් මෙන් නීල වර්ණ රශ්මි දහරා නොනැවතී සතියක්ම විහිදුනු බව තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය සඳහන් කරන්නේ මහත් උත්කර්ෂයෙනි. එසේම රජුගේ අණ පරිදි උපුල්වන් දෙවිඳුන්ගේ භාර්යා චන්ද්‍රාවතී දෙවියගේ සහ පුත්‍ර ධනුර්දර කුමාරයාගේද දේව රූප නිමවා දෙවිනුවර තුඩුවේ මහා දිව්‍ය විමානයක් ඉදිකොට ඒ තුළ ප්‍රතිමා තැන්පත් කරන ලදි.”
“යමල් හල් මුනි ලෙසින් වදහල මෙලක රකිනුව යහපතින්
උපුල්වන් දෙවි රජුන් පිළිරුව වඩිනු දැක මහ සයුරතින්
විමල් ගුණ යුත් දාපුළුසෙන් රජෙක් ආ ඒ මොහොතින්
විපුල් සිරි දෙවිනුවර කරවා පිහිට කරවී යහපතින්”
– පැරකුම්බා සිරිත
සාල ගස් දෙකක් අතර සැතපී හුන් මුනීන්ද්රයන් වහන්සේ වදහල පරිදි මෙත් සිතින් මේ ලක්දිව රකිනා උපුල්වන් දිව්‍ය රාජයාගේ ප්‍රතිමාව මහ සයුරෙහි පාවී එමින් තිබෙනු දැක සාමි දප්පුල රජු මහත් ශ්‍රීයෙන් යුත් දෙවිනුවර නගරය කරවා එහි උපුල්වන් ස්වාමින්ගේ ප්‍රතිමාව ප්රතිශ්ඨාපනය කලේය.